Lak FM










  

 

මානව හිමිකම ඉල්ලා සංවිධාන රැසක් උද්ඝෝෂණයක.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට යෙදී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ විශ්ව මානව හිමිකම් ප‍්‍රඥප්තිය සම්මත කර ගැනුනේ 1948 වසරේ දෙසැම්බර් මස 10 වනදායි.
සාමාජික රාජ්‍යයක් ලෙස මානව හිමිකම් ආරක්‍ෂා කිරීමටත්, ප‍්‍රවර්ධනය කිරීමටත් සහතික වෙමින් ශී‍්‍ර ලංකාවද විශ්ව මානව හිමිකම් ප‍්‍රඥප්තිය අත්සන් තබා තිබෙනවා.
ලොව පුරා රටවල් 193 ක් අද සමරනු ලබන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ මෙවර තේමාව වී ඇත්තේ, ‘නෝව් යුවර් රයිට්ස්’ හෙවත් "ඔබේ අයිතීන් දැන ගත යුතුය"යන්නයි.
මානව හිමිකම් පිළිබඳව තම ජනතාවට ඉගැන්වීමෙන් සහ ප‍්‍රදර්ශනය කිරීම ඇතුළු ක‍්‍රමෝපායන් මගින් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ගත් විශ්ව මානව හිමිකම් ප‍්‍රඥප්තියේ පූර්විකාවෙන් සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ. 
මේ අතර, මෙරට සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ සංවිධාන කිහිපයක් එක්ව අද දහවල් 1.00 ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උදඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා. 
අනතුරුව සම්මන්ත‍්‍රණයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසුවේ.
(වසන්ත)